Friday, January 15, 2016

විමුක්තිය පිළිබඳ සමයාන්තරික මතවාද


1.1      ලෝකයේ දුකින් මිදීම සඳහා හෝ යම් ආකාරයක විමුක්තියක් පිළිබඳව කථාකිරීම සඳහා ආගම් විශාල ප‍්‍රමාණයක් ඇත. ඒ සෑම ආගමක ප‍්‍රධාන තැන දී තිබෙන්නේ එම ආගමේ ප‍්‍රධාන ශාස්තෘවරයා හෝ ශාස්තෘවරුන් පිදීම හෝ ඔහුගේ දහම එකම දහම කොට පිළිපැදීම හෝ වෙන යම් ක‍්‍රමයකින් යම් ප‍්‍රාප්තියකට පැමිණ දතයුතුයි යන කරුණු කාරණා පදනම් කොට ගෙන විමුක්තියක් පිළිබඳව කතා කරයි. කෙසේ වෙතත් අතීතයේ සිට කිසියම් විමුක්ති සාධනයක් සඳහා කටයුතු කර ඇති බව වේද යුගයේ සිට පරීක්ෂා කොට බැලීමෙන් දත හැකිය.

            වේදය පරීක්ෂා කොට බැලීමේදී රවි ඉන්ද්‍ර අග්නි යන දෙවියන් තිදෙනාට යාගහෝම පැවැත්වීම අවශ්‍ය කටයුත්ත බවත් එයින් පුද්ගලයාගේ යම් විමුක්තියක් පිළිබඳව කතා කරයි. මේ කාරණයම මීමංසා දර්ශනය ඉදිරිපත් කරන අතර මේ සඳහා කරුණු ගෙනහැර දක්වයි. වේදාන්තයේ වෙනස් මතයක් ඉදිරිපත් කරයි. එනම් එකම සත්‍යය නම් බ‍්‍රහ්මයාය. එම බ‍්‍රහ්මයාගේ සච්චිදානන්ද ස්වරූපය හෙවත් රූප පරමාත්මය හා මායා (රූප වූ ලෝකය) යන පදාර්ථ ද්විත්වය තතුසේ දැනගැනීම විමුක්තියට අවශ්‍ය බව පෙන්වා දෙයි. මේ අතර සාංඛ්‍ය දර්ශනය මෝක්ෂ ලාභය සඳහා පදාර්ථ වශයෙන් විසි පහක් දක්වයි. එනම් පුරුෂ ප‍්‍රකෘති මහත් අහංකාර ශ්‍රෝත‍්‍රත්වක් චක්ෂුස් ජිව්හා ඝ‍්‍රාණ වාක් හස්ත උපස්ත පායු පාද මනස් ශබ්දතන්මාත‍්‍ර ස්පර්ශතන්මාත‍්‍ර රූපතන්මාත‍්‍ර රසතන්මාත‍්‍ර ගන්ධතන්මාත‍්‍ර ආකාශ වායු තේජස් ආප් පෘථිවි යනාදියයි. සාංඛ්‍ය දර්ශනයෙහි උගන්වන මෙකී පදාර්ථයන්ට ඊශ්වර පදාර්ථය එක් කොට සවිසි පදාර්ථ ප‍්‍රත්‍යක්ෂ කිරීම අවශ්‍ය බව පාතඤ්ජල දර්ශනය පෙන්වා දෙයි. න්‍යාය දර්ශනය ඉදිරිපත් කරන්නේ ප‍්‍රත්‍යක්ෂ, අනුමාන, උපමාන, ශාබ්ද යන ප‍්‍රමාණ සතර උපයෝගී කොටගෙන පදාර්ථයන් මනාකොට පරීක්ෂාකොට මැන දැනගැනීම මෝක්ෂ ලාභය සඳහා ඉවහල් වන බවයි. මේ සඳහා ප‍්‍රමාණ සතරින් මනාව දැනගත යුතු වූ පදාර්ථ දොළොසක් ඇති බව පෙන්වා දෙයි. එනම් ආත්ම ශරීර ඉන්ද්‍රිය අර්ථ බුද්ධි මනස් ප‍්‍රවෘත්ති දෝෂ ප්‍රත්‍යභාව ඵල දුඃඛ අපවර්ග යන මේවාය. මේ පදාර්ථයන් දැනගැනීම මෝක්ෂ ලාභයට ප‍්‍රමාණවත් වන බව එම දර්ශනය පෙන්වා දෙයි. මේ අතර වෛශේෂික දර්ශනය පෙන්වා දෙන්නේ මෝක්ෂ ලාභය සඳහා ද්‍රව්‍ය ගුණ කර්ම සාමාන්‍ය විශේෂ සමවාය අභාව යන සප්ත පදාර්ථයන් අවබෝධ කිරීමට අවශ්‍ය බවයි. ජෛන දර්ශනය ඉදිරිපත් කරන්නේ විමුක්ති සාධනය සඳහා ජීව අජීව යන පදාර්ථයන් තත්වාකාරයෙන් දැනගැනීම අවශ්‍ය බවයි. විශ්වාසය, ප‍්‍රාර්ථනාව, පිළිපැදීම, සක‍්‍රමේන්තුව යන සතර මෝක්ෂ ලාභය සඳහා අවශ්‍ය වන ප‍්‍රධාන අංග බව කෛ‍්‍රස්තව සමය දක්වයි.   

1.2       සාමඤ්ඤඵල සූත‍්‍ර දේශනා ආදියෙහි සඳහන් වන ෂට් ශාස්තෘවරුන්ගේ දර්ශන විමසා බැලීම මෙහි දී වැදගත් වේ.

බුද්ධකාලීන ප‍්‍රකට ෂට් සාස්තෘන්වරුන් අතරින් පළමුවැනියා පූර්ණකස්සපය. මොහුගේ ගෝත‍්‍රය කස්සප ලෙසත් නම පූර්ණ ලෙසත් හැඳින්වේ. දීඝ නිකායේ අටුවාව වන සුමංගල විලාසිනියට අනුව මොහුගේ උපත සමග ස්වාමියා ගේ දාසයන් සියදෙනා සම්පූර්ණ වූ බැවින් ඔහු පූර්ණ නම් විය. නිවසේ ඇති වූ ගැටලුවක් නිසා ඔහු නිවෙසින් පැන ගියේය. එසේ පැන යන අතරතුරදී සොරුන් විසින් ඔහුගේ වස්ත‍්‍රය සොරාගත් නිසා නිරුවත් සාධුවරයකු ලෙස පෙනී සිට ඇත. ජෛන භගවතී සූත‍්‍රයේ ද මොහු ගැන සඳහන් වන අතර දිව්‍යාවදානය වැනි ග‍්‍රන්ථවල ද පූර්ණ කස්සප හා ඔහුගේ ඉගැනීම් පිළිබඳ තොරතුරු හමුවේ. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත‍්‍රයේ සඳහන් පරිදි ඔහුගේ ඉගැන්වීම් මෙබඳුය.

            ‘‘සියතින් කරන්නාට ද, අනුන්ලවා කරවන්නාට ද, අනුන්ගේ අත්පා සිඳීම ද, අනුන්ලවා සිඳවන්නාට ද, පරපීඩා කරන්නාට ද, පරපීඩා කරවන්නාට ද, අන්සතු දෑ පැහැරගන්නාට ද, පැහැර ගන්වන්නාට ද, මංකොල්ලකෑම කන්නාට ද, කරවන්නාට ද, පර ස්ත‍්‍රී සේවනය කරන්නාට ද කරවන්නාට ද, බොරු තෙපළන්නාට ද, පව්කම් කරමි යයි සිතා කරන්නාට ද, සිතා කරවන්නාට ද, සිදුවන කිසිදු පවක් නැත. පාපයෙහි සහ කුසලයෙහි සිදුවන අමුතු පළඳිමක් ද නැත.’’ යනුවෙන් දක්වා ඇත. මේ අනුව ඔහු දේශනා කර ඇත්තේ අකිරියවාදියකි. ඉහත සඳහන් කළ පූරණකස්සපගේ දේශනාවන්ට අනුව ඔහුගෙන් ප‍්‍රකාශවන්නේ දැඩි බ‍්‍රාහ්මණ විරෝධී ප‍්‍රතිපත්තියෙකි. ගංගානදියේ උතුරු දිසාව පාලනය කළේ බ‍්‍රාහ්මණයෝ වූහ. දකුණු තෙර ශ‍්‍රමණයෝ වූහ. කෙසේ වුවද පූරණකස්සප අකිරියවාදය පිළිගත්ත ද මිනිසාගේ මරණින් පසු පැවැත්ම පිළිගත්තෙකි. බැලූ බැල්මට මෙතුමා උච්ඡේදවාදියකු (මරණින් පසු උපත පිළිනොගන්නා අයකු) වුවත් විද්වතකු වූ ආචාර්ය බී.එම්. බරුවා පෙන්වා දෙන්නේ ශාස්වතවාදියෙකු (මැරෙමින් උපදිමින් යන) ලෙසයි. කෙසේ වුවද මේ ඉගැන්වීම් නිසා පුද්ගලයා නිශ්ක‍්‍රිය අයකු බවට පත්වන අතර පුද්ගලයා සදාචාර විරෝධී අයකු බවටද පත්වේ.

            මක්ඛලීගෝසාල පිළිබඳව තොරතුරු ඇතැම් බෞද්ධ මූලාශ‍්‍රවල මෙන්ම ජෛන භගවතී සූත‍්‍රයේ ද දැක්වේ. මෙතුමන් ආජීවක සම්ප‍්‍රදායේ නායකයා ලෙස සැලකේ. දීඝනිකාය අටුවාවට අනුව එතුමාට මෙම ගෝසාල යන නම ලැබී ඇත්තේ ගවහලක උපත ලැබීම නිසාය. පිරිවැජියකුගේ පුතකු ලෙස උපන් අතර ගෝසාල නම් සිටුවරයා ළඟ පුත‍්‍ර තනතුරේ ඇතිදැඩි වූ බව ඇතැම් වාර්තා සඳහන් කරයි. දිනක් සිය ස්වාමියා සමග තෙල් කළයක් හිස තබා ගෙන ගමන් කරද්දී මාඛලී’ (පා පැකිලි නොවැටෙව) යන්න පවසද්දීත් නොසැලකිල්ලෙන් ගමන් කිරීම නිසා පය පැකිලී වැටුණු බවත්, ස්වාමියාට බියෙන් පලායද්දී ඔහු සිය වස්ත‍්‍රයෙන් කොණක් අල්වාගත් බවත් හෙතෙම එම වස්ත‍්‍රය ද හැරදමා ගොස් අචේලක පැවිද්දකු බවට පත් වූ බව දීඝනිකා අටුවාව සඳහන් කරයි. ඔහුගේ පියා මස්කරීන්නම් වූ අතර මව නන්දානම් වූවාය. ‘‘හේතු ප‍්‍රත්‍යක් නොමැතිවම සත්ත්වයා කෙලෙසීමත් පිරිසුදුවීමත් සිදුවිය හැකිය’’ යනු ඔහුගේ දර්ශනයයි. පුරුෂ බලය පුරුෂ පරාක‍්‍රමය කියා දෙයක් නැත. සියලු බාලයෝ ද පණ්ඩිතයෝ ද ශ්‍රේෂ්ඨ ජාති හයක උපදිති. ඒවායෙහි හැසිර සසර දුක් කෙළවර කර ගනිති. එලෙසින් සසර ජාති හයක ඉපිද සසර කෙළවර කර ගන්නා බව ද සඳහන් කිරීම නිසා එතුමා අකිරියවාදියකු ලෙස ද අහේතුවාදියකු මෙන්ම සංසාර ශුද්ධිවාදියකු ලෙසද හැඳින්වේ. නියතවාදය ඉදිරිපත් කළ නිසා නියති සංගතිවාදී ශාස්තෘවරයා ලෙසද හැඳින්වේ. මේ අනුව මක්ඛලීගෝසාලගේ ඉගැන්වීම් තුළ සෘජුවම කර්මවාදය බැහැර කරයි. ඔහුගේ ඉගැන්වීම් මිනිසා මිත්‍යාවට යොමු කරන්නක් ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී ප‍්‍රතික්ෂේප කළහ.

       අජිතකේශකම්බල ශාස්තෘවරයාගේ අජිතයනු ඔහුගේ නමයි. එකල ඇතැම් ශ‍්‍රමණයන් මෙන් කෙස්වලින් කරන ලද කම්පිලියක් දැරූ බැවින් කේශකම්බලනම් විය. සාමඤ්ඤඵල සූත‍්‍රයට අනුව මොහු භෞතිකවාදී ඉගැන්වීම් දැරූවෙකි. මොහු දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් ඉදිරිපත් කරයි.
           1. දුන් දෙයෙහි ඵල නැත
           2. කළ මහා යාගය (පූජාව) නිෂ්ඵලය
           3. හොඳ හා නරක කර්මවල විපාක නැත
           4. මෙලොවක් නැත
           5. පරලොවක් නැත
           6. මව නැත
           7. පියකු නැත
           8.  ඕපපාතික සත්ත්වයෝ නැත
           9. මැරී නැවත උපදින අයකු නැත
           10. නිසිමඟ දැන ලොවට සත්‍ය කියාදෙන මහණ බමුණකු නැත. ආදී වශයෙනි.

         ඒ අනුව අජිතගේ දහමට අනුව සත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහා භූත කොටස් එකතුවෙනි. මෙසේ පුද්ගලයා මරණයට පත්වීමත් සමග ඔහු සතුව පැවැති භූත කොටස් බාහිර භූත කොටස් සමග එකතු වේ. කළ හොඳ නො හොඳ සියල්ල සොහොනින් අවසන් වන අතර මරණින් පසු ඉන්ද්‍රියන් අහසට යයි. දන්දීම සිල් රැකීම ආදිය අඥාන ක‍්‍රියාවන්ය. ආත්මය විනාශ වූ පසු නුවණැත්තාත් හා මෝඩයත් යන දෙපිරිසම විනාශ වෙති. මේ ආකාරයට ඔහුගේ ඉගැන්වීම් අනුව බලන කළ මරණින් මතු උපතක් විශ්වාස නොකළ නිසා එම ඉගැන්වීම් නාස්තික උච්ඡේදවාදීඉගැන්වීම් ලෙස සැලකේ.

     පකුධකච්ඡායන ශාස්තෘවරයා ෂට් ශාස්තෘවරුන් අතර සිටි ප‍්‍රකට කීර්තිධර ආචාර්යවරයෙකි. ගෝත‍්‍රය කච්ඡායන බවත් මොහුගේ නම පකුධ ලෙසත් බුද්ධඝෝෂ හිමියෝ සිය දීඝනිකා අටුවාවේ දී සදහන් කරති. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත‍්‍රයට අනුව මොහුගේ ඉගැන්වීම් මෙසේය. ලෝකයේ සදාකාලික උත්තරීතර ධර්මතා හතකි. සත්ත්වයා මේ පරමාර්ථ හත එකතුවෙන් නිර්මාණය වී තිබේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ජීව යනු එයයි. මේ කරුණු කිසිවකු විසින් මවන ලද්දක් නොවේ. පර්වතයන් මෙන් එය ස්ථිරය. ඉන්ද්‍රඛීලයක් සේ ස්ථිරය. අමිලය. නො වෙනස්ව පවතියි.

        එක් අතකින් සාස්වතවාදී පිළිගැනීමක් වේ. ඔහු පැවසුවේ යමෙක් තවත් අයකුගේ හිස කඳින් වෙන්කළත් සිදුවන්නේ සත්වධාතු ප‍්‍රංජරය අතරින් අවිය යැවීම පමණකි. එමගින් කිසිවිටෙකත් ප‍්‍රාණඝාතය නොවේය යන්නය. ඔහු භෞතිකවාදියකු ලෙසත් ඔහු කර්මය හා විපාක පිළිනොගත් හෙයින් අකිරියවාදියකු ලෙස ද හැඳින්වේ. පකුධගේ මේ ඉගැන්වීම් මනුෂ්‍ය සදාචාරය අර්ථගැන්වීමට බලවත් බාධකයක් බව පෙන්වා දෙන බුදුදහම ලෝකයේ ගැටලු උද්ගත කරන අදහස් සේ බැහැර කරයි.

        සංජය බෙල්ලට්ඨි පුත්ත ශාස්තෘවරයා ෂට් ශාස්තෘවරුන් අතරින් පරිබ‍්‍රාජක සම්ප‍්‍රදාය නියෝජනය කළ එහි නායකයා ලෙස ද සැලකේ. අනුගාමිකයන් රැසක් සිටි බව කියැවේ. මොහුගේ දර්ශනය අමරාවික්ෂේපවාදයනමින් හැඳින්වේ. ජෛන මූලාශ‍්‍රවල මොහුගේ ඉගැන්වීම් සඳහන්ව ඇත්තේ අඥානික ඉගැන්වීම් ලෙසය. කිසිදු කරුණක් අරභයා නිශ්චිත කාරණයක් ඉදිරිපත් නො කර අසන්නා මවිතයට පත්කරවන සුලූ පිළිතුරු දුන් නිසා අමරාවික්ෂේපවාදීඉගැන්වීම් ලෙස මෙතුමාගේ ඉගැන්වීම් හඳුන්වන්නට ඇත.
         නිගණ්ඨනාථපුත්ත බුදුරදුන්ට සමකාලීන උත්තර ඉන්දියාවේ වාසය කළ ප‍්‍රකට සාස්තෘවරයන් සය දෙනා අතරින් වඩාත් වැදගත්ම ශාස්තෘන්වරයා ලෙස පිළිගැනෙන්නේ නිගණ්ඨනාථපුත‍්‍ර හෙවත් වර්තමාන මහාවීර නමින් ජෛන සාසනයේ විසිහතර වන නායකයා ය. පාර්ශවනාථයන්ගෙන් පසුව ජෛන ආගමේ ශාස්තෘන්වරයා බවට පත්වූයේ මෙතුමාය. ක්ෂත‍්‍රීය වංශිකයකු ලෙස සඳහන් ය. සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතයට බෙහෙවින්ම සම්බන්ධ සිදුවීම් ද ජෛන මහාවීරයන්ගේ් චරිතය තුළින් ප‍්‍රකට වන බව මූලාශ‍්‍ර තොරතුරු ම`ගින් හෙළි වේ. එතුමාගේ පියා ලෙස සැලකෙන්නේ සිද්ධාර්ථ රජතුමාය. මව ත‍්‍රිශාලා වූ අතර බිරිය යශෝධා නම් වූවාය. දියණිය අනෝජා නම් විය. වසර 30 දී අභිනිෂ්ක‍්‍රමණය කොට වසර 12 ක් දුෂ්කර ක‍්‍රියාවෙහි යෙදෙමින් වයස අවුරුදු 42 දී කේවල ඥානය අවබෝධ කොට ගෙන ජිනතත්ත්වයට පත් වූ බව ජෛන මූලාශ‍්‍රවල සඳහන් වේ. උග‍්‍ර අත්තඛිලමතානුයෝගයක් අනුගමනය කළ ජෛනමහාවීර පරම අවිහිංසාවාදීයෙකු ලෙස ද හැඳින්වේ. ෂට් සාස්තෘන්වරුන් අතරින් කිරියවාදීවූයේ මෙතුමා පමණකි. නිත්‍ය වූ ආත්මයක් ඇති බවට වූ ස්ථාවරයේම පිහිටා සිටියහ. ස්වේතාම්බර හා දිගම්බර ලෙස ජෛනයෝ දෙයාකාරයකට බෙදී සිටියහ. ජෛන සමයෙහි චතුයාම සංවරය උගන්වයි. ගස්වැල් වලට පණ ඇති බවට ජෛන දර්ශනයේ උගන්වයි. ඔවුන් අශ්වාස ප‍්‍රාශ්වාස කිරීමේදී පවා මුකවාඩම් බැඳ සිටීමත් ජලය පෙරා පානය කිරීමට නිබඳවම පෙරහන්කඩක් භාවිතා කළ බවත් කියැවේ. වැසි සමයේ පොළොව මතුපිටට එන කුඩා ජීවින් හා තෘණ වර්ග පෑගී විනාශවන නිසා වැසි සමයේ ගමන්බිමන් වලින් වැළකී සිටියහ. මෙලෙස ෂට් ශාස්තෘවරුන්ගේ දහම් පිළිබඳව විමසීමේදී විමුක්තිය මෝක්ෂය පිළිබඳව ඔවුන් අතර පැවති නොයෙක් ආකාරයේ දර්ශන මතවාද පිළිවෙත් අනුගමනය කිරීම් දත හැකිය.

1.3       ථේරවාද සම්ප්‍රදායට අනුව නිර්වාණය අවබෝධ කිරීම විමුක්ති සාධනයයි. ඒ අනුව නිර්වාණය පිළිබඳ විෂය බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත් තැනක් ගනී. ථේරවාද සම්ප‍්‍රදායට අනුව සත්ත්වයා තුන් ආකාර දුක්වලින් පීඩාවිඳියි.

            දුඃඛ දුඃඛතා - භෞතික සහ මානසික හේතු නිසා උපන් ක්ලේශයන්
            සංසාර දුඃඛතා - උපත සහ විනාශ ස්වභාවය ඇති ලෝකයේ වස්තූන් නිසා උපන් ක්ලේශයන්
            විපරිණාම දුඃඛතා - සැපය දුකට පෙරලීම නිසා උපන් ක්ලේශයන්

     චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයෙන් ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරිමෙන් ද මෙම ක්ලේශයන්ගෙන් සදාකාලිකවම විමුක්තිය ලබාගත හැකිය. බොහෝ ථේරවාද නිකායන් නිර්වාණය අභාවාත්මක බව පිළිගනියි. මිළින්ද ප‍්‍රශ්නයේ දී නාගසේන හිමියන් පැහැදිලිවම ප‍්‍රකාශ කර ඇත්තේ නිරෝධයට පත්වීම නිර්වාණය බවයි. සත්ත්වයා ඉන්ද්‍රියන් පිනවීමේ සහ විෂයන් උපභෝග කිරිමෙහි ඇලී සිටිම නිසා නිරන්තරයෙන් දුකට පත්වෙයි. එහෙත් ඥානවන්ත ආර්ය ශ‍්‍රාවකයා මේවා සමඟ කිසිවිටෙකත් නො ඇලෙයි. එසේම එය සතුටක් ලෙස ද නො ගනී. එහි ප‍්‍රතිඵලය නම් ඔහුගේ තණ්හාව නැතිවීමයි. තෘෂ්ණා නිරෝධය (තණ්හාව නැතිවීම) සමග උපාදාන සහ භව නිරෝධය වෙයි. එවිට පුනර්භවයෙන් බැඳුනු සියලු දුක් නවති. මෙසේ තණ්හාධික ක්ලේශයන්ගෙන් නිරෝධයට පත්වීම නිර්වාණයි. නිර්වාණාවබෝධයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි. එයට හේතුව පුද්ගලත්වය තනා රැකීමට කිසිවක් ඉතිරි නොවීමයි.

         ලෞකිකව පවත්නා වස්තූන් කර්මය නිසා හෝ හේතුවක් නිසා හෝ සෘතු අනුව හෝ හටගනී, පවතියි. එහෙත් නිර්වාණය මේ කිසිවක් නිසා උපදින්නක් නොවේ. එය හේතු රහිත ත‍්‍රිකාලාතීත, ඉන්ද්‍රියාතීත, වචනයෙන් විස්තර කළ නොහැකි පදාර්ථයකි. නිර්වාණය ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට ක‍්‍රමයක් ඇතත් එය ඉපදවීමට ක‍්‍රමයක් නොමැත. එහි උත්පාදක හේතුව දැක්විය නොහැකි අතර උත්පාද රහිත වේ. එයට හේතුව නිර්වාණය නිර්ගුණ වීමයි. එය අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අයත් නොවන අතර ඉන්ද්‍රිය ගෝචර ද නොවේ.

          ථේරවාද දැක්මට අනුව, බුදුරජාණන් වහන්සේ විසින් යමක් පිළිබඳව ධර්මය දෙශනා කරණ ලද නම් එහි පරම ඉලක්කය නිර්වාණයයි. යම් විටක අවිද්‍යාව සම්පුර්ණයෙන් නැතිකර දමන ලදද එවිට රහතුන් ලබන තත්ත්වය නිර්වාණයයි. නිර්වාණය මේ ලෝකයේදීම ලබාගත යුත්තකි. නිර්වාණය වනාහි මානසික සහ භෞතික ජීවිතයේ පරම නිරෝධය වන අතර එය ලැබීමෙන් පසු පුද්ගලත්වය සියලු අයුරින්ම නැතිවී යයි. නිර්වාණය නම් නිවීයාමයි. පහනක ආලෝකය පවතින්නේ පහන් වැටියත් තෙලූත් පවත්නා තෙක්ය. මේවා විනාශ වී යාමෙන් පහනේ ආලෝකය නැතිවී යයි. මෙලෙස තෘෂ්ණා ආදී ක්ලේශයන් විනාශ වීමෙන් යම් විටක මේ භෞතික ජීවිතයේ පරම ඉලක්කයට පත්වෙයි ද එවිට එය නිර්වාණය යයි කියනු ලැබේ.

        ථෙරවාද සම්ප්‍රදාය විසින් දක්වන නිර්වාණය වාස්තවික වශයෙන් මහායානිකයන් පිළිනොගන්නා අතර එය හුදෙක් ක්ලේශාවරණයෙන් පමණක් ක්ෂයවීම ලෙස සලකයි. ඥෙයාවරණයේ පැවැත්ම ඉතිරිව තිබෙන්නේය. මහායානිකයන්ට සර්වඥතාවය (නිර්වාණය) යනු මෙම දෙයාවරණයම දුරු කිරිම වේ.


          ‘නිර්වාණය දුක්ඛාභාවයක් නො වන අතර සුඛස්වරූපයෙන් යුක්තයි. මාධ්‍යමිකයින් සහ යෝගාචාරින් නිත්‍ය, අනිත්‍ය, සුබ සහ දුක්ඛ පිළිනොගන්නා අතර නිර්වාණය අනිර්වචනීය වෙයි. නිර්වාණය අප‍්‍රාප්තයි. ඥාතා-ඥෙය, විෂයි-විෂය නිර්වාණය සහ භික්ෂුවකගේ කිසම අයුරකින් අන්තරයක් නොවේ. ලෝකෝත්තර තත්ත්වයට වඩා උසස් තත්ත්වයකි. යෝගාචර සහ හීනයාන මත දරන්නන් විමුක්තිකාය (මෝක්ෂය) ලබයි. මහායානිකයෝ ධර්මකාය සහ සර්වඥත්වය (නිර්වාණය) ලබති.  යෝගාචරයන්ගේ මතයට අනුව නිර්වාණය කොටස් දෙකකින් යුක්තයි. ප‍්‍රකෘති ශුද්ධ සහ අප‍්‍රතිෂ්ඨීත නිර්වානය යනුවෙනි. මාධ්‍යමිකයින්ට අනුව නිර්වාණය නිරාකාර පරමාර්ථ භූතයයි. අනෙක් පදාර්ථ හුදෙක් සිතේ විකල්ප මාත‍්‍රයි. එහෙයින් නිර්වාණයේ සහ සංසාරයේ ධර්ම සමතාවක් වේ. මාධ්‍යමිකයින්ට සහ යෝගාචාරින්ට අනුව නිර්වාණය අද්වෛතයි. ලෝකයේ ප‍්‍රපංචයන් මායාවෙන් සහ මිත්‍යාවෙන් යුක්තයි. දෙවැදැරුම් ආවරණයන් පිළිගනී. ඒවා නම් ක්ලේශාවරණය සහ ඥෙයාවරණයයි. මහායානික මතය අනුව ඔවුන්ට මේ ආවරණ දෙකෙන්ම මිදිය හැකි අතර හීනයානිකයින්ට මිදිය හැක්කේ ක්ලේශාවරණයෙන් පමණි.

No comments:

Post a Comment